Thursday, March 28, 2024

General line - 0115112241

පෙට්ට්‍රල් නෞකාවට සිදුවූ දේ බලශක්ති ඇමති හෙළිකරයි




ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය ගැටළු සහ බැංකුවල ශ්‍රේණිගත කිරීම් වල ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් ජුනි මස 23 වෙනිදා මෙරටට ළඟාවීමට තිබු පෙට්ට්‍රල් නෞකාව ගෙන්වා ගැනීමට නොහැකිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

දීර්ඝ කාලීනව මෙරටට ඉන්ධන සපයනු ලැබූ සැපයුම්කරුවන් සඳහා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වන කාල සීමාව තුලදී ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා නිකුත් කළ ණයවර ලිපි සඳහා මේ දක්වා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 735ක් බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

මේ හේතුවෙන් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීමේදී එම සැපයුම්කරුවන් ගැටලුවකට මුහුණ දී සිටින බැවින් නව සැපයුම්කරුවන් සොයා ගැනීමට සිදුවූ බවත් එහිදී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීම සඳහා ඉදිරිපත්වූ එක් සැපයුම්කරුවෙකු ගෙන් ඉන්ධන නෞකා කිහිපයක් ලබා ගැනීම සඳහා කටයුතු ඇරඹු බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයවර ලිපියක් මෙරට රාජ්‍ය බැංකුවක් හරහා විවෘත කරනු ලැබුවද එම ණයවර ලිපිය පිළිගැනීමට අදාළ සැපයුම්කරුගේ මුල්‍ය කටයුතු භාරව සිටින ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව විසින් පිළිනොගැනීම නිසා ඉන්ධන මිලදී ගැනීමේ ගැටලුවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ හේතුවෙන් ඉන්දියාව ද ඇතුළුව මුල්‍ය සමාගම් කිහිපයක් හරහා කටයුතු කිරීමෙන් පසු අදාළ සැපයුම්කරුගෙන් ඉන්ධන නෞකාවන් මිලදී ගැනීමට කටයුතු කිරීමට සිදුකළ බවත් ඒ අනුව ඔවුන් විසින් පළමු පෙට්ට්‍රල් නෞකාව මෙම මස 23 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට ලඟා වෙනු ඇති බවට දැනුම් දුන් බවයි. 

කෙසේ වුවද පසුව එම කටයුතු සිදුකරමින් පවතින විට මෙරට බැංකු සමාගම්වල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පහත වැටීම ඇතුළු කරුණු හේතුවෙන් අදාල සැපයුම්කරු විසින් ඉන්ධන නෞකාව ලංකාවට පැමිණීමට පෙර අත්පිට මුදලක් ඉල්ලා සිටිය බව අමාත්‍යවරයා කියා සිටියා.

නව සැපයුම්කරුවෙකු හේතුවෙන් රටේ පවතින නෛතිමය තත්ත්වය අනුව එවැනි අත්පිට මුදලක් ලබාදීම සිදුකිරීමට නොහැකි බවත්, එවනු ලබන ඉන්ධන වල තත්ත්ව පරික්ෂාවන් සිදුකළ යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එවැනි පසුබිමක් යටතේ අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.