Wednesday, April 24, 2024

General line - 0115112241

පාඨලී චම්පික රණවකගේ මූලික විරෝධතා පිළිබඳ නඩු විභාගයට දින නියම කෙරේ




2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා  ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ජූලි මස 18 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දස දෙනා විසින් පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් විත්තිය වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව එම ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඉදිරි දිනට පෙර අධිකරණය දැනුවත් කරන බවයි විත්තියේ නීතිඥවරු සඳහන් කළේ. 

එමෙන්ම මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන බවද මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ අනුව අදාළ මූලික විරෝධතා ජුලි මස 18 වනදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥ වරුන්ට නියෝග කළා. 

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.