Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා - ජනපති හමුවූ විශේෂ දුත පිරිස කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුව අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිතුමා මේ වන විට රටේ පවතින ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කර සිටියා.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත්, මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා  නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) එහිදී සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කර සිටියා.

රට තුළ සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජනාධිපතිතුමා දක්වන අවබෝධයත් තමන්ට ඇති අවබෝධයත් අතර ඇති සමානකම් කෙරෙහි සතුටට පත්වන බව ඔවුහු කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයට කිසිදු බාධාවක් නොකොට ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහා දී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කර සිටියා.

කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර ඇත. එමෙන්ම ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහාය දී ඇති බව ඔවුන් සිහිපත් කරනු ලැබුවා.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් මෙහිදී ප්‍රකාශ කර සිටියා.