Thursday, March 28, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුවෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුලත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග




වසර තුනකට අධික කාලයක් උසස් පෙළ සමත් සිසුවකුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරයි රාජා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි මලිත් සචින්තක නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින්.

ඒ අනුව අදාළ සිසුවා ඉදිරි වසරේ සුදුසු විශ්වවිද්‍යාලයක් සඳහා ඇතුලත් කරගන්නා ලෙසත් පෙත්සම්කාර සිසුවාට රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් විනිසුරුමඩුල්ල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළා.

පෙත්සම්කරු සඳහන් කරන්නේ තමන් 2018 වසරේ උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ඉදිරිපත්ව ”ඒ”  සාමාර්ථ 3 ක් ලබා ගත් බවයි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හතර වන ස්ථානයටත් සමස්ත ලංකා මට්ටමින් 99 වන ස්ථානයටත් තමන් තේරී පත්වූ බවත් ඔහු පවසනවා. ඒ අනුව තමා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යාපනය, කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල නීති පීඨය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළත් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බවයි ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේ.

තමා ගාල්ල, ලබුදූව උසස් ජාතික තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී ඇතැයි සඳහන් කරමින් තම විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බවද ඔහු සිය පෙත්සම මඟින් පෙන්වා දුන්නා. තමා ගාල්ල ජාතික උසස් තාක්ෂණ ආයතනයේ ප්‍රවේශ විභාගයක් සඳහා පෙනී සිටියද එම ආයතනයේ කිසිදු පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී නොමැති බවයි ඔහු සිය පෙත්සමේ වැඩිදුරටත් පෙන්වාදී තිබුණේ.

පසුව සොයා බැලීමේදී අත්වැරදීමකින් තම නම අදාළ ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුලත් වී ඇති බව අනාවරණය වූ බවද පෙත්සම්කරු කියා සිටියා.

මේ පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුවත් කිරීමට කටයුතු කළත් එම කොමිසම විසින් ගනු ලැබූ තීරණය වෙනස් කළ නොහැකි බවට එහි බලධාරීන් විසින් දැනුම් දුන් බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙන්නේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ තුළින් අදාළ ශිෂ්‍යයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළා.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා අදාල සිසුවාට අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ වසර තුනක කාල සීමාව අහිමිවී ඇතැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය  වහාම අදාළ සිසුවා මීලඟ වසරේ සුදුසු විශ්වවිද්‍යාලයකට ඇතුලත් කර ගන්නා ලෙසයි වගඋත්තරකාර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේ.