Thursday, April 25, 2024

General line - 0115112241

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවය අද සිට පුළුල් වේ




ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාදීම මහනුවර, මාතර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලවල ද අද සිට ආරම්භ වනවා. එහි පළමු අදියර ලෙස එක් එක් ප්‍රාදේශීය කාර්යාල සඳහා එක්දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා මෙම සේවාව සපයනු ලබන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර සඳහන් කළේ. 

මේ අතර www.immigration.gov.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ප්‍රාදේශීය කාර්යාල වෙත අයදුම්පත් භාරදීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි වනවා. 

මහනුවර, මාතර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මේවනවිට අයදුම්කරුවන් වෙත මේනවිට දිනයන් සහ වේලාවන් ලබාදී ඇති බැවින් එක්දින සේවය මෙලෙස 100 දෙනෙකුට සීමා කිරීමට සිදුවන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. කලින් දිනයක් සහ වේලාවක් වෙන් නොකර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවලට නොපැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60 ක කාලසීමාව තුළ දින හා වේලාවන් වෙන්කර ගෙන අවසන් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

එබැවින් කඩිනමින් රැකියාවක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයැදුම්කරුවෙකු වේ නම් එය තහවුරු කිරීම සඳහා වන ලියකියවිලි 070 63 11 711 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් එක්දින සේවාව හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.