Friday, April 19, 2024

General line - 0115112241

සියලු ප්‍රශ්නවලට උත්තර - QR කේතයට සියල්ල සූදානම්




ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR කේත ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අගෝස්තු 01 වනදා සිට ආරම්භ කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා. එහි සභාපති ජයන්ත ද සිල්වා පැවසුවේ QR කේත ක්‍රමය හඳුන්වාදීමේදී මතුවූ ගැටළු රැසකට මේවනවිට සාර්ථක විසඳුම් ලබාදී ඇති බවයි. 

කිසියම් පුද්ගලයෙකු QR කේතය ලබාගන්නා වාහනය පසුව අලෙවි කළ හොත් මතුවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් මතුවන ගැටළු පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ දසුන් හෑගොඩ පැවසුවේ QR කේත ක්‍රමය භාවිත කිරීම පිළිබඳ සිදුකළ නියමු ව්‍යාපෘතිය අතිශය සාර්ථක බවයි. මේවනවිට ද QR කේත ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීම ඇතැම් පිරවුම්හල්වල ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා. 

QR කේත ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා පොලීසියේ සහය ලබා ගැනීමට ද නියමිතයි. ඒ අනුව QR කේතය පරීක්ෂා කරන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු අසල පොලිස් නිලධාරියෙකු රැඳවීමටයි තීරණය කර ඇත්තේ. 

QR කේත ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව මේවනවිට 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 4 යි දශම 4 කට අධිකයි.