Tuesday, April 16, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය නිසා රටේ පවුල් තුනෙන් එකක දරුවන්ගේ මානසික මට්ටම පහළට




රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක සිටින දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව සේව් ද චිල්ඩ්රන් ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත අනාවරණ කරමින්. 

එම සමීක්ෂණයට එක්වූ මව්පියන් පවසා ඇත්තේ ගතවූ මාස 06 ක කාලය තුලදී තම දරුවන්ගේ හැසිරීමේ ඍණාත්මක වෙනස්කම් දක්නට ලැබුණු බවයි. කණස්සලු භාවයෙන් පෙලීම සහ ප්‍රතික්ෂේප කිරීම් දැරුවන් තුළින් වැඩි වශයෙන් දක්නට ලැබී තිබෙනවා. 

පවතින තත්ත්වය හේතුවෙන් නිවාස 04 න් 03 කට ආසන්න සංඛ්‍යාවක මව්පියන්ට තම දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසන්නේ. ඔවුන් සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති තවත් ප්‍රධාන කරුණක් වන්නේ පවුල මත ඇති ආර්ථීක පීඩනය හේතුවෙන් සෑම දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හා ආක්‍රමණශීලී හැසිරීම් පෙන්නුම් කරන බවයි. 

එම දරුවන්ගේ ආහාර රුචියේ වෙනස්කම් ද සිදුව ඇති බවයි සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. එම අගය සමීක්ෂණයට ලක් කළ නිවාසවලින් සියයට 12 යි දශම 7 ක්. 

සෑම දරුවන් 05 දෙනෙකුගෙන්ම එක් අයෙකුගේ නිදාගැනීමේ රටාවේ වෙනස්කම්, හැගීම් පාලනය කිරීමට ඇති අපහසුතා මෙන්ම අන් අයට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිවීම ද සිදුව ඇති බව හෙළිවු බවයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පෙන්වා දෙන්නේ. එම අගය සමීක්ෂණයට ලක් කළ නිවාසවලින් සියයට 21 යි දශම 5 ක්.

සේව් ද චිල්ඩ්රන් ආයතනයේ ශ්‍රී ලංකාව භාර ජාතික අධ්‍යක්‍ෂ ජුලියන් චෙල්ලප්ප පවසා ඇත්තේ පවතින දුෂ්කරතා සහ අර්බුද පිළිබඳ නිවැරදි හැගීමක් දරුවන්ට නොමැති බැවින් එහි බලපෑම දරුවන් වෙත එල්ල වීම වැළැක්විය යුතු බවයි. 

එමෙන්ම දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් ලෙස පවත්වාගෙන යාමට පවුලේ සාමාජිකයින් උපකාර කළ යුතු බව ද ජාතික අධ්‍යක්ෂවරයා පවසනවා. එසේ උපකාර නොකළ හොත් දරුවන් තුළ ඇති අයහපත් ලක්ෂණ වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි සේව් ද සිල්ඩ්රන් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

ඉකුත් මැසි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ සේව් ද චිල්ඩ්රන් ආයතනය මෙම සමීක්ෂණය සඳහා නිවාස 2,309 ක් යොදා ගෙන තිබෙනවා. එම සෑම නිවසකම ළමයින් සිට ඇති අතර එක් පළාතකින් අවම වශයෙන් නිවාස 245 ක නියැදියන් යොදා ගත් බවයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසන්නේ.