Friday, March 29, 2024

General line - 0115112241

ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමවේදයට ලියාපදිංචි වීමට හෙට සිට අවස්ථාව




ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකය සමඟ ලියාපදිංචි වීමට නොහැකි වූ රථවාහන භාවිත කරන්නන්නට හෙට සිට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අගෝස්තු 01 වනදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය දිවයිනපුරා ක්‍රියාත්මකයි. 

අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදය හෙටින් පසුව වලංගු වන්නේ නැහැ. ඉන්ධන බෙදා හැරීමේදීද QR ක්‍රමවේදයට අනුගත වූ පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන බවයි විදුලිබල හා බලශක්ත අමාත්‍යාංශය පැවසුවේ. 

ත්‍රීරෝද රථ සදඟා ඉන්ධන ලබා ගැනීමට අදාල පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම පිරවුම්හල නම් කළ යුතු වනවා. ඒ අනුව ඉදිරියේදී එම පිරවුම් හලෙන් ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.  

විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්, ඉන්ධන වර්ගය, සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය, ඉන්ධන ලබා ගැනීමට අපේක්ෂා කරන පිරවුම්හල තෝරා ගෙන අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු වනවා. රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ එම සියලු රථවාහන ලියාපදිංචි කළ හැකියි. 

මේ අතර එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ. 

නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, අලෙවි කිරීම, ඉන්ධන ලබා දීමේදී ලබා දී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

ඊට අදාල ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි වට්ස් ඇප් හරහා 074 212 31 23 අංකය වෙත යොමු කළ හැකි වනවා. එම ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි හරහා නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ත අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.