Friday, April 19, 2024

General line - 0115112241

රූපවාහිනියට බලෙන් ඇතුළු වූ ධනීෂ් අලී 15 වනදා දක්වා රිමාන්ඩ්




රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ධානිෂ් අලි නැමැත්තා ලබන   15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එදින මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රකාශ කළේ. නඩුව අද පෙරවරුවේ මුලින්ම කැඳවූ අවස්ථාවේදී සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. 

ඒ අනුව සැකකරු හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණා. 

කෙසේවෙතත් ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට රැගෙනවිත් තිබුණා. පොලිසිය සහ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් එහිදී ප්‍රකාශ කළා.