Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද සහ බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ




හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සඳහා පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වුණා.

මුලින්ම සලකා බැලූනේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමයි

එහි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් රට බරපතල අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2019 වසරේදි ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබූ බව සඳහන් කළා.

කොවිඩ් වසංගතය නිසා වත්මන් ආර්ථික අර්බුදය මතු වූ බව ඇතැම් අය ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් රජය අනුගමනය කළ අදුරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙම ප්‍රතිඵලය අත් වූ බව ප්‍රකාශ කරන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

2019 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීම කෙරෙහි රජය විසින් අවධානය යොමු කර තිබුණේ නම් මෙම ව්‍යසනයෙන් මිදීමට හැකියාව තිබූ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

2019 සහ 2020 අතර කාලසීමාව තුළ රජය විසින් ව්‍යපාරිකයින්ට බදු සහන ලබාදුන් අතර මේ හේතුවෙන් රජයට අයවිය යුතු බිලියන 600 කට අධික ආදායමක් අහිමි වූ අතර  මේ හරහා ආර්ථිකයට බරපතල හානි සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම බදු සහන ප්‍රදානය කලේ ඇයි දැයි පැහැදිලි කිරීමට හිටපු මහ බැංකු අධිපතිවරු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය අසමත් වී ඇති බවත් ඔහු චෝදනා කළා. ශ්‍රී ලංකා ණය ගෙවීම පැහැර හරිනු ලබන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත වීමට මෙම තත්වය ප්‍රධාන වශයෙන් හේතු වූ බවද ඔහු පෙන්වා දුන්නා.

රට බරපතල ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති හෙයින් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් රජයට යෝජනා කර තිබුණා.

එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අවශ්‍ය නොවන බව පසුගිය පෙබරවාරි මාසය දක්වාම ප්‍රකාශ කර තිබුණු බව ඔහු සිහිපත් කළා.

මෙවැනි අර්බුදකාරී ආර්ථික තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී 2022 වසරේ ජනවාරි මස ස්වෛරී බැදුම්කර සදහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම තුළින් රට තව තවත් ආර්ථික අගාධයකට ඇද වැටුණු බවත් ඔහු සඳහන් කළා.

මහබැංකු අධිපති වරයා   මූල්‍ය මණ්ඩලයේ  සාමාජිකයන් ආර්ථික විද්‍යාව  පිළිබඳව  ප්‍රාමාණික උගතුන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම ආදායම් අහිමි වීම ගැන  හොද අවබෝධයක් තිබුණද ගත යුතු  ක්‍රියා මාර්ග කිසිවක්  නොගත්  බවට  චෝදනා කලේය.

ආර්ථික අර්බුදයක් මතු වන බව දැන දැනම     වග ත්තරකරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම නිසා වර්තමානයේ රට බංකොලොත් භාවයට පත්ව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට වග උත්තරකාර හිටපු මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරුන් වගකිව යුතු බවත් චෝදනා කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම මේ මස 03 වන දා තෙක් කල් තැබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු තමන් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව මේ මස 04 වනදා දක්වා දීර්ඝ කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර සිටියා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. අනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් විසින්.

එම පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට දන්වා සිටියා.
.