Thursday, April 25, 2024

General line - 0115112241

චීනයේ යුද තර්ජනවලට තායිවානයෙන් පිළිතුරු




චීනයෙන් එල්ල වන යුදමය තර්ජන හමුවේ පසුනොබසින බව තායිවානය පවසනවා. තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් මේ බව ප්‍රකාශ කළේ අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි එරට සංචාරයකට එක්ව සිටින පසුබිමක් තුළයි. මෙම සිද්ධිය පදනම් කර ගනිමින් චීනය, අමෙරිකාවට මෙන්ම තායිවානයට ද තර්ජන එල්ල කරමින් සිටින අතර මේවනවිටත් චීනය, තායිවානය ආසන්නයේ ගුවනින් හා මුහුදින් යුද අභ්‍යාසයක් ආරම්භ කර අවසන්. 

කෙසේවෙතත් චීනයෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් තායිවාන ජනාධිපතිවරිය පැවසුවේ තායිවානය සිය ආත්මාරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කරනු ඇති බවයි. එමෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සබඳතා ඉහළ නංවා ගන්නා බව ද ඇය සඳහන් කළා. 

මේ අතර තායිවානයට පැමිණ සිටින අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි, එරට ජනාධිපතිනිය හමුවී ප්‍රකාශ කළේ අමෙරිකාව කිසිඳු අවස්තාවකදී තායිවානය අත්නොහරින බවයි. ජනාධිපතිවරිය හමුවීමෙන් අනතුරුව අමෙරිකානු කථානායකවරිය තායිවාන පාර්ලිමේන්තුවට ද පැමිණ තිබුණා. 

මේ අතර අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපයන් මගින් උදහසකට ලක්කර ඇති චීනය මේවනවිට තායිවානය ආසන්නයේ ගුවනින් මෙන්ම මුහුදු සීමාවෙන් ද යුද අභ්‍යාස සිදුකරමින් සිටිනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යුද අභ්‍යාස සඳහා චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 21 ක්, අතිනවීන යුද ගුවන් යානා 05 ක් සහ යුද නෞකා 02 ක් යොදා ගෙන ඇති බවයි. සිය ගුවන් ආරක්ෂණ කලාපය උල්ලංඝණය කරමින් චීන යුද ගුවන් යානා පියාසර කරන අයුරු දැක්වෙන ඡායාරූප ද තායිවානය අද මාධ්‍යයට නිකුත් කර තිබුණා. 

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිවානයට නොයන ලෙස බයිඩ්න් පාලනය කථානායක නැන්සි පෙලෝසිගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි. එහෙත් ඇය එලෙස නොයන ලෙස බලපෑම් කිරීමට පාලනාධිකාරියට බලයක් නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.