Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවට උත්තරදෙන්න චීනය, තායිවානය වට කරයි




චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇගවීම් මධ්‍යයේ සිදුකළ අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට එරෙහිව චීනය අද දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ, තායිවානයට ආසන්න මුහුදේ ස්ථාන 06 කින් එරට වට කරමින් දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කරමින්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය චීනය විසින් සිදු කරන විශාලතම යුධ අභ්‍යාසයක් බවයි. එය සිදු කෙරෙන්නේ තායිවානයට සැතපුම් 12 ක් තරම් ආසන්න මුහුදු ප්‍රදේශයකවීම ද විශේෂත්වයක්. මේ අතරතුර තායිවානය සමඟ සිදුකරන වෙළඳ ගණුදෙනු කිහිපයක් ද නතර කිරීමටයි චීනය මේ වන විටත් පියවර ගෙන ඇත්තේ.

තායිවානයට අවට මුහුදු සීමාවේ හා එරට ගුවන් සීමාවේ චීනය විසින් යුද අභ්‍යාසයක් සිදුකරමින් සිටියද අමෙරිකාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එරට කථානායකවරිය රැගත් අමෙරිකානු හමුදා ගුවන් යානය දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එහෙත් චීනයේ යුද අභ්‍යාසය තවදුරටත් ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ චීනයේ මෙම ක්‍රියාකලාපය නැව් සහ ගුවන් ගමනාගමනය අවහිර කිරීමකට සමාන බවයි.

මෙම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් තායිවානය මෙන්ම අමෙරිකාව ද මේ වන විට සිය ප්‍රතිචාරය පළ කර තිබෙනවා. තායිවානය පවසන්නේ කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය උත්සහ දරන බවයි. මෙය චීනයේ වගකීම් විරහිත ක්‍රියාවක් බවටයි අමෙරිකාව චෝදනා කරන්නේ.