Friday, April 26, 2024

General line - 0115112241

ජනපති මන්දිරයෙන් සොයා ගත් මුදල් ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරයි




ඉකුත් ජූලි මස 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී සොයාගෙන කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට බාරදී තිබූ රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදල අධිකරණයට බාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්‍රියාවලියම විනය විරෝධී ක්‍රියාවලියක් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී,එස්  වික්‍රමසිංහ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවා.

ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට තමා විසින් පොලිස්පතිවරයා වෙත වාර්තා කරන බවයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ.

ඊට අමතරව අදාල මුදල් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට පසු දින භාර දෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දුරකථන ඇමතුමක් මගින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

එසේ මුදල් භාර දෙන ලෙසට ලබා දුන් බව කියන  දුරකථන ඇමතුමට අදාළ හඬ පට පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද විදුලි සංදේශ නියාමක කොමිෂම සහ දුරකථන සමාගම් දෙකකටත් නියෝග කළා.

එසේම අදාල දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා සහය වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙතද නියෝගයක් නිකුත් කළා. 

මේ අතර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබාදුන් දුරකතන ඇමතුම සම්බන්ධව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තබා ඇති සටහන් වල වාර්තා ද අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. 

මෙම මුදල් භාරගත් අවස්ථාවේ සිට අධිකරණයට භාර දෙන තෙක් පොලිස් නිලධාරීන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වාර්තාවක් යොමු කල බවද මෙහිදී ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහේස්ත්‍රාත්ට කරුණු දක්වා සිටියා.

අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාරදී තිබූ මෙම අධිකරණයට භාර දීමට ප්‍රමාද වීම සම්බන්ධව සොයා බලා වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් පසුගියදා කළ නියෝගයට අනුව මෙම කරුණු දැක්වීම් සිදු කර තිබෙනවා.