Friday, April 19, 2024

General line - 0115112241

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ 




එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. අද දිනයේද රාත්‍රියේ විදුලි කප්පාදුව සිදුවන්නේ පැයකට පමණයි. 

ජල විදුලි උත්පාදනය ඉහළ යාම හේතුවෙන් මේ පියවර ගත් බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. මේ දිනවල සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය උප්පාදනය සියයට 60ක් දක්වා වැඩි වී තිබෙනවා. එබැවින් ඩීසල් හා දැවි තෙල් බලාගාර මගින් විදුලිය උත්පාදනය ඉතා අවම වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

මේ අතර පවතින කාල ගුණික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ වැසි සහ සුළං ලබන අගෝස්තු 10 වනදා තෙක් පවතිනු ඇති බවයි. 

පවතින නාය යෑමේ අවදානම සම්බන්ධයෙන්ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන එහිදී අදහස් පල කළා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ අධ්‍යක්ෂ සුගත් දිසානායකද වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් පල කළා. 

පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 65කට බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 3,471ක පුද්ගලයින් 13,739 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුව ඇති හානි හේතුවෙන් අද රාත්‍රී 08යි 30ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වීමට තිබූ දුම්රියද අවලංගු කර තිබෙනවා.