Saturday, April 20, 2024

General line - 0115112241

ඉදිරි මාස 06ත් රටට දුෂ්කරයි - ජනපතිගෙන් ප්‍රකාශයක්




නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් ශ්‍රී ලංකාවට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව, පළමුව විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතු නමුත් ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ශ්‍රී ලංකාව ගමන් කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

ඒ, අද පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ  ආරාධිත දේශනය සිදු කරමින්. 

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ පැරණි ආර්ථික මොඩලය තවදුරටත් ශ්‍රී ලංකාවට භාවිතා කළ නොහැකි බවයි. නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා. 

වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව හොද හෝ නරක වුවද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළයුතුයි. ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්න කිරීමට රජයට අයිතියක් ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.