Wednesday, April 24, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉහල යාමේ අවදානමක්




කදු පංති ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුනොකිරීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ නායයෑම් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදින් පවසනවා. නාවලපිටිය ඇතුළු ඒ අවට නගර කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ ගංවතුරෙන් යටවූයේද එවන් පසුබිමක් තුළ බවයි පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ. 

මධ්‍යම කදුකරය ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුකරන ලෙස මීට පෙර බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබද කිසිදු තැකීමක් සිදු නොකළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මධ්‍යම කදුකරයේ ආරක්‍ෂා කළ යුතු කදු පන්ති සම්බන්ධයෙන් සංවර්ධන සැලැස්මක් සකස් කර රජයට භාරදී ඇති බවද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සදහන් කළා. 

ඉතා කෙටි කාලයක් තුළ නාවලපිටිය සහ අවට නගර  ඉකුත් දිනවල ජලයෙන් යටවී ඇත්තේ වසර ගණනාවකට පසුවයි. පැවති මහවැසි සහ නායයෑම් හේතුවෙන් විපතට පත් පුද්ගලයන් 12,000 ක් වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර අධික වැසි ඇතිවන අවස්ථාවේ ඟංවතුර සහ නායයෑම් වැඩි වශයෙන් හට ගැනීමට අදාළ ප්‍රදේශවල වන ගහණය අඩුවීමද බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න පැවසුවේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංවතුර සහ නායයෑම් හටගැනීමේ තත්ත්වයන් වැඩිවී ඇති බවයි.