Saturday, April 20, 2024

General line - 0115112241

චීන නැවේ ශ්‍රී ලංකා ගමනට අමෙරිකාවත් මැදිහත් වෙයි




ශ්‍රී ලංකාව මේවනවිට රටවල් 03 ක රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මැදිව සිටිනවා. ඒ, චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාව පදනම් කර ගනිමින්. එම චීන නෞකාව මෙරටට පැමිණීම තහවුරු වීමත් සමග ඉන්දියාව ඊට දැඩි විරෝධයක් එල්ල කළා.

ඉන්දියාවේ විරෝධය මධ්‍යයේ චීනය ප්‍රකාශ කළේ අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණෙන බවයි. ඒ අනුව චීනය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට ශ්‍රී ලංකාව මැදිවු අතර මේවනවිට එම අර්බුදයට අමෙරිකාව ද මැදිහත්ව සිටිනවා. 

පර්යේෂණ හා ගවේෂණ කටයුතු සඳහා පැමිණෙන බැවින් හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස චීනය ශ්‍රී ලංකා රජයෙන් කිහිපවරක් ඉල්ලා සිටියා. එහෙත් චීන - තායිවාන අර්බුදය හා තවත් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් චිනය වටා ජාත්‍යන්තරය තුළ පැන නැගී ඇති විරෝධය හමුවේ ශ්‍රී ලංකාව චීනයට පැවසුවේ හම්බන්තොට වරායට ලගාවීම ප්‍රමාද කරන ලෙසයි. 

ඒ අනුව ඉකුත් 11 වනදා පැමිණීමට නියමිතව තිබූ යුවාන් වැන්ග් ෆයිව් නෞකාව මෙතෙක් මෙරට මුහුදු සීමාවට ලගා වී නැහැ. කෙසේවෙතත් එම නෞකාව ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්න වෙමින් ඇති බවට ඉකුත් දා තොරතුරු පළ වුණා. එහෙත් මේවනවිට එම නෞකාව යන්නේ කුමන ගමනාන්තයක් වෙතද යන්න සම්බන්ධයෙන් අනාවරණ නොවන අතර කිසිඳු පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් තහවුරු කරන්නේ ද නැහැ. 

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි යුවාන් වැන් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර නොදෙන ලෙස මේවනවිට ඉන්දියාව සහ අමෙරිකාව, ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකාව පවසන්නේ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබාදුන හොත් එය ශ්‍රී ලංකාව, චීනයට විශේෂ සැලකිල්ලක් දැක්වීමක් ලෙස දකින බවයි. අමෙරිකාව මෙලෙස පීඩනයක් එල්ල කරමින් සිටින්නේ ශ්‍රී  ලංකාව ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලින් විශේෂ ණය පැකේජයක් අපේක්ෂාවෙන් පසුවන පසුබිමක් තුළයි. 

අමෙරිකාව, චීනය හා ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සමීපතම රාජ්‍යයන් වන අතර ණය ගනුදෙනුවලදී මෙරටට විශාල වශයෙන් සහයෝගය ලබාදුන් රටවල්. එබැවින් චීනය, අමෙරිකාව හා ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්ත්වයට යුවාන් වැන් ෆයිව් නෞකාවේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද මැදිවී සිටින බවයි ජත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.