Friday, April 19, 2024

General line - 0115112241

අතහැරදමා ඇති තෙල් ටැංකි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගන්න - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන




පොලොන්නරුව සහ වැලිකන්ද  දුම්රිය ස්ථාන වලට යාබද  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ පසුගියදා පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ පොලොන්නරුව දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 100,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3ක් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයට යාබදව ඛනිජ තෙල් ලීටර් 54,000 බැගින් ගබඩා කල හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 5 ක් ඇති බවය.

තමන් අද මෙම ස්ථාන වලට පැමිණියේ ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂයක් ලබා ගෙන මෙම ටැංකි පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බව අවධාරණය කරන ලදි.

දුම්රිය මඟින් ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැයක් බව පැවසූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එලබෙන සතිය තුල මෙම ටැංකි පද්ධතිය නවීකරණය කලයුතු ආකාරය පිලිබදව සාකච්ඡා කරන බව  ප්‍රකාශ කලේය .

තවද මෙම ටැංකි සියල්ලේ සිදුරු තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කල යුතු බවත් ඒ සදහා ඛනිජ තෙල් සංස්ථාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යයාධිකාරිවරයාට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, දුම්රිය සාමාන්‍යයාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.