Thursday, April 25, 2024

General line - 0115112241

සතියේ දින පහේ රජයේ සේවකයන් යලි සේවයට කැඳවීමට අවධානය




සතියේ දින පහේ රාජ්‍ය සේවකයන් යලි සේවයට කැඳවීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. රට තුළ උද්ගතවූ ඉන්ධන හිඟය හමුවේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරුණා. 

ඒ අනුව, ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක්ද ඉකුත්දා නිකුත් කළා. 

කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ඉන්ධන අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වීම හේතුවෙන් පොදු සේවාවන්ද ක්‍රියාත්මක වනවා. ඒ අනුව, රජයේ කාර්යාල වෙත සේවාවන් ලබා ගැනීමට මහජනතාව මේ වන විට පැමිණෙමින් ඇති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කළේ. 

එය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතුව ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවා. 

ඒ අනුව, නිකුත් කර ඇති චක්‍රලේඛයේ කාල සීමාව අවසන්වීමෙන් පසුව රජයේ සේවකයන් දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සදහන් කළේ.