Friday, March 29, 2024

General line - 0115112241

විදේශ සබඳතා ගැන ශ්‍රී ලංකාව නිවැරදි තීන්දු ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයින් කියයි




යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ලක් රජය චීනයට ඉඩප්‍රස්ථාවන් ලබාදීමේදී, ඒ පිළිබඳ ඉන්දියාව දරණ මතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ලබන 16 වනදා සිට 22 වනදා දක්වා එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.  
සියලුම රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳ යළි අවධාරණය කිරීම සිය අපේක්ෂාව බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. අසල්වැසි ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ කරුණක් වන බැවින් සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අභිප්‍රාය බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. 

කෙසේවෙතත් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළ අදාළ චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහගෙන් විමසීමක් කළා. 

විදේශ සබඳතා පිළිබඳ නිවැරදි තීන්දු ගැනීමට ශ්‍රී ලංකාව අවදානය යොමු කළ යුතු බවයි ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් සදහන් කළේ.

මතභේදයට තුඩුදී ඇති චීන නෞකාව ඉකුත් 11 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා. එම නෞකාව සම්බන්ධයෙන් මතභේදයක් හට ගැනුණේ ඉන්දියාව මෙන්ම චීනයද අවස්ථා කිහිපයකදීම ඒ පිළිබඳ විවිධ අදහස් පල කිරීම හේතුවෙන්. 

එවන් පසුබිමක් තුළ ඉකුත් 11 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ “යුවාන් වෑන්ග් - 5” නෞකාවේ පැමිණීම කල්දමන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැන්වීමටයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තේ. එම නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුර උපදේශන ලබාගැනීමේ අවශ්‍යතාව මත එම සංචාරය කල් දමන ලෙස චීන තනාපති කාර්යාලය වෙත දන්වා යැවූ බවයි. 

අදාල නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බවට ඉන්දියාව ප්‍රකාශ කළේ එවන් පසුබිමක් තුලයි. එම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට ඉන්දියාවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා සදහන් කළා. කෙසේවෙතත් කලාපයේ පවතින වාතාවරණය සහ සිය දේශසීමා ප්‍රදේශවල තත්ත්වය අනුව ඉන්දීය අභිලාෂයන්ට අනුව හොඳම තීරණය ගන්නා බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය එහිදී අවධාරණය කර තිබුණේ. 

අනතුරුව අමෙරිකාව ද චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කර තිබුණා. 
අමෙරිකාව පැවසුවේ චීන නෞකාවට, හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබාදුන හොත් එය ශ්‍රී ලංකාව, චීනයට විශේෂ සැලකිල්ලක් දැක්වීමක් ලෙස දකින බවයි.