Friday, March 29, 2024

General line - 0115112241

අරගලයට ගිය බ්‍රිතාන්‍යය කතගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි




තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක් වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා. ඒ, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින්. 

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආගමන විෂය භාර අමාත්‍යවරයාට මෙරට රැදී සිටින විදේශිකයන් පිටුවහල් කිරීමට බලය තිබුණ ද පෙත්සම්කාරිය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා. මෙම වීසා අවලංගු කිරීමට පෙර කිසිදු ආගමක් හා විගමන පාලකවරයා විසින් සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වූ බවත් මෙය ආගමන පාලක විසින් අත්තනෝමතික අයුරින් ගනු ලැබූ තීරණයක් බවත් නීතිඥවරයා චෝදනා කළා.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි වීසා අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කිරීමේ අභිමතය ආගමන හා විගමන පාලකවරයා සතු වන බව පෙන්වා දුන්නා. 

විදේශිකයින්ට වීසා නිකුත් කිරීම, අවලංගු කිරීම, දීර්ඝ කිරීම යන කරුණු සම්බන්ධයෙන් වූ පූර්ණ අභිමතානුසාරී බලය ආගමන හා විගමන පාලකවරයා වෙත පැවරි තිබෙන බව මීට ඉහත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නඩු තීන්දුවක සඳහන් කර ඇතැයිද මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණයේ අවධානය යොමු කර සිටියා. පෙත්සම්කාරිය සදහා නිකුත් කර තිබූ වීසා අවලංගු කිරීම පමණක් ආගමන හා විගමන පාලක විසින් සිදුකර තිබුණද ඇය පිටුවහල් කරන ලෙස නියෝග කිසිවක් නිකුත් කර නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

පෙත්සම්කාරිය සිතාමතාම සත්‍ය කරුණු වසන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් රජයේ නීතිඥවරිය චෝදනා කළා. එබැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා අනතුරුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට තීරණය කළා.