Saturday, April 20, 2024

General line - 0115112241

දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීම ගැනත් පැහැදිළි කිරීමක්




පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 06ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වසරේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18 ක් අසාධු ලේඛනයට ඇතුළත් කර තිබූ බවයි. ඒ අතරින් ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන සංවිධාන සහ පුද්ගලයින් මෙලෙස අසාධු ලේඛණයෙන් ඉවත් කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. 

විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා එම පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. 

ඒ, පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමටයි. එහිදී ලද සාක්ෂි පදනම් කරගනිමින් දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව සාකච්ඡා වට කිහිපයකින් ද අනතුරුව අසාධු ලේඛනයෙන් ඉවත් කල යුතු සහ ඇතුළත් කල යුතු පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ විශ්ලේෂණය කර නිර්දේශ ඉදිරිපත් කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. මෙම කාල සීමාව තුළ ත්‍රස්තවාදයට මුදල් හා ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවට අලුතින් හදුනා ගත් පුද්ගලයන් 55 දෙනෙකු සහ සංවිධාන 03ක් අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කර ඇත්තේ විදේශ ආයෝජන ලබාගැනීමේ අරමුණින් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළා. ඒ, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව මෙම තහනම ඉවත් කර ඇති බවයි. 

දෙමළ සංවිධාන 06 ක සහ පුද්ගලයින් 316 දෙනෙකුට එරෙහිව පනවා තිබූ තහනම ආරක්ෂක අමාත්‍යංශය ඉකුත් දා ඉවත් කළා. කෙසේවෙතත් සංවිධාන 15 ක් තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් වන අතර පුද්ගලයින් 316 දෙනෙකු අසාධු ලේඛනගත කර තිබෙනවා. 

මේ අතර ජාතික නිදහස් දිනය ඇතුළු ජාතික උත්සව අවසානයේ ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරන ලෙස කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද පැවසුවා.