Friday, April 19, 2024

General line - 0115112241

පකිස්තානයෙන් තුනෙන් එකක් වතුරේ




දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇතැයි එරට කාලගුණ අමාත්‍ය ෂෙරී රහමාන්  පවසනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග, නිවාස සහ බෝග වගාවන් රැසක් විනාශ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එය පකිස්තානයට මුහුණ පෑමට සිදුව ඇති මහා විනාශකාරී තත්ත්වයක් බවයි පකිස්තාන කාලගුණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. 

ඉකුත් ජුනි මාසයේ සිට පකිස්තානයට අඛණ්ඩව ඇද හැලුනු මෝසම් වර්ෂාව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන මේවනවිට 1,136 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනෙන් දින මළ සිරුරු සොයා ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද බලධාරීන් පවසනවා.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක් තුළ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන සැලසීම අපහසු බවයි පකිස්තාන රජය පවසන්නේ. එබැවින් සිය රටට සහය වන්නැයි පකිස්තානය මේවනවිටත් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් පකිස්තානයට සහය වන්නැයි ඉල්ලා අමෙරිකානු ඩොලර් මිලියන 160 ක් එක්රැස් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ජාත්‍යන්තරයෙන් ආයාචනයක් සිදුකිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.