Friday, April 19, 2024

General line - 0115112241

ඉරාක අගනුවර දරුණු ගැටුම් : පුද්ගලයින් 15ක් ජිවිතක්ෂයට 




ඉරාක ආරක්ෂක හමුදාවන් සහ ප්‍රබල ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් අතර බැග්ඩෑඩ් අගනුවර ඊයේ දවස පුරා  පැවති ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ෂියා ආගමික නායකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ද වන මුක්තාදා අල් - සාදර්ට පක්ෂපාතී විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමත් සමග මෙම ගැටුම් ඇතිවී තිබෙනවා.

තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව මුක්තාදා අල් - සාදර් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බැග්ඩෑග් අගනුවර මෙලෙස ගැටුම් ඇවිලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පවතින තත්ත්වය හමුවේ ජනතාවට සාමකාමී අයුරින් ක්‍රියා කරන ලෙස ඉරාකයේ භාරකාර අගමැතිවරයා ඉල්ලා සිටිය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉරාක හමුදාව පියවර ගනු ලැබුවා.

ඉරාක අගනුවර රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල පිහිටි "Green Zone" නම් අධි ආරක්‍ෂිත කලාපය තුල ඊයේ රාත්‍රිය පුරා ගැටුම් පැවති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 350 කට අධික බවයි වාර්තා සඳහන් කර සිටින්නේ.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රට තුල දේශපාලන අස්ථාවර භාවයක් මතුවෙමින් පවතින අතර එයට ප්‍රධාන හේතුව ඉරානය විසින් ඉරාකයේ දේශපාලන කටයුතු වලට සිදුකරනු ලබන අතපෙවීම් බවයි දේශපාන විචාරකයින් පෙන්වා දෙන්නේ.