Friday, April 19, 2024

General line - 0115112241

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා දිවි ගමනට සමුදෙයි




සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචෙව් අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 91 වන වියේ පසු වූ බවයි. රෝගාබාධ රැසකින් පීඩා විඳි මිකායිල් ගොර්බචෙව් රෝහල්ගතව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිකායිල් ගොර්බචෙව් බලයට පැමිණ ඇත්තේ 1985 වසරේදීයි. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළ නායකයකු ලෙස ද ඔහු සැලකෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. කෙසේ වෙතත් 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන්වීම වළක්වා ගැනීමට ගොර්බචෙව්ට හැකිවී නැහැ.

බොහෝ රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට වෙන් වූයේ, ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවයි. සෝවියට් සමූහාණ්ඩව බිඳ වැටීමට වසරකට පෙර 1990 දී මිකායිල් ගොර්බචෙව්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වුණා. ඒ, විරසක පසෙකළා සෝවියට් සමූහාණ්ඩුව සහ බටහිර රටවල් අතරේ යහපත් සබඳතා පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන්.

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචෙව්ගේ අභාවය සැලවු සැණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.