Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයට අද නව අගමැතිවරයෙක්




බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරටට නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ වගකීම පාලක කන්සර්වේටිව් පක්ෂයට පැවරුණා. 

ඒ අනුව කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරගයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

අග්‍රාමාත්‍යධූර අපේක්ෂකයින් ලෙස කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන ලීස් ට්‍රස් සහ රිෂී සන්ක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් දෙදෙනාගෙන් කන්සර්වේටිව් පක්ෂයේ බහුතර බලය හිමි කර ගන්නා අපේක්ෂකයා බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වනු ඇති.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ද ඉවත් වී සිටින බ්‍රිතාන්‍යය මේවනවිට අර්බුද කිහිපයකටම මුහුන දෙමින් සිටිනවා. ආර්ථික අර්බුදය සහ විදුලිබල හා බලශක්ති අර්බුදය ඒ අතරින් ප්‍රමුඛයි. 

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙතෙක් ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් ලැයිස්තුවේ 5 වන ස්ථානය ආරක්ෂා කර ගනිමින් සිටි බ්‍රිතාන්‍යය මේවනවිට එහි 6 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 

බ්‍රිතාන්‍යය පසුකර 5 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇත්තේ ඉන්දියාවයි. එබැවින් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වන පුද්ගලයා හමුවේ දේශපාලන මෙන්ම ආර්ථික අභියෝග රැසක් පවතිනු ඇති. 

රුසියානු හා යුක්රේන අර්බුදය මේවනවිට ගෝලීය භූ දේශපාලනයට ප්‍රභල බලපෑමක් එල්ල කරමින් ඇති බැවින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන ආකාරය එරට ආර්ථිකයට ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බව ද ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.