Saturday, March 30, 2024

General line - 0115112241

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 21 යි




සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 21 ක් සම්පූර්ණ වනවා. ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් අමෙරිකාව පුරා අද විවිධ අනුස්මරණ උත්සව පැවැත්වීමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා ඔහුගේ බිරිඳ ද එවැනි අනුස්මරණ උත්සව කිහිපයකටම සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ. 

අල්කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා මෙම ප්‍රහාර මාලාව සිදුකළා. ත්‍රස්තවාදීන් අමෙරිකානු මගී ගුවන් යානා 04 ක් පැහැර ගැනුණු අතර ඉන්ගුවන් යානා 02 ක් නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණුවල ගැටීමට සැලැස්වූවා.

අනෙක් ගුවන් යානාය ගැටුනේ පෙන්ටගනයේ බටහිර කොටසේයි. අනෙක් ගුවන් යානය පෙන්සිල්වේනියා හිදී අනතුරට ලක්වු අතර එය ධවල මන්දිරයට හෝ වොෂිංටන් අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන්නට ඇති බවටයි පසුව ප්‍රකාශ කෙරුණේ.

ප්‍රහාර මාලාවෙන් විදේශිකයින් ඇතුළු පුද්ගලයින් 2,996 දෙනෙකු මියගියා. තුවාල ලැබූ පිරිස 25,000 ක් පමණ වනවා. 

සිදුවූ දේපළ හානිය ඩොලර් බිලියන 10 කට වැඩි බවටයි අමෙරිකාව ගණන් බලා තිබුණේ.