Friday, April 19, 2024

General line - 0115112241

චීනයේ චෙන්ග්ඩු නගරය දින නියමයක් නොමැතිව වසයි




මිලියන 21 ක ජනගහනයක් සහිත චීනයේ චෙන්ග්ඩු නගරයේ කොවිඩ් අගුලු දැමීම දින නියමයකින් තොරව දීර්ඝ කර ඇති බව වාර්තාවනවා. 

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ අගනුවර වන චෙන්ග්ඩු හි තවදුරටත් කොවිඩ් වසංගතය සම්ප්‍රේෂණය වැළැක්වීමේ අරමුණින් එහි බොහෝ දිස්ත්‍රික්කවල කොවිඩ් අගුලු දැමීම දින නියමයක් නොමැතිව දීර්ඝ කර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ. 

අධික උෂ්ණත්වය, විදුලිය විසන්ධි කිරීම් සහ භූමිකම්පාවක් සමඟ මෑතකදී සටන් කළ එම නගරය, කොවිඩ් සිද්ධීන් ගණනාවක් හඳුනා ගැනීමෙන් පසු සැප්තැම්බර් 1 වන දින වසා දැමුවා.

එම නගරය මේ වසර මුලදී සිදුකළ ෂැංහයි සීමා කිරීම්වලින් පසු සීමා කිරීම්වල‍ට  ලක් වූ විශාලතම චීන නගරයයි. 

අගුලු දැමීම පසුගිය බදාදා ඉවත් කිරීමට චෙන්ග්ඩු බලධාරීන් අපේක්ෂා කළ නමුත් පළාත් පාලන නිලධාරීන් පැවසුවේ සමහර ප්‍රදේශවල තවමත් කෝවිඩ් වෛරසයේ සමාජ පැතිරීමේ අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් චෙන්ග්ඩු බල ප්‍රදේශය යටතේ ඇති දිස්ත්‍රික්ක, නගර, ප්‍රාන්ත සහ විශේෂ කලාප 23 න් 16 ක පදිංචිකරුවන් අගුලු දමා ඇති බව බලධාරීන් සදහන් කළා. 

ඔවුන් නිරතුරුව කොවිඩ් රෝග සඳහා පරීක්ෂාවට ලක් කරන අතර, අගුලු දැමීම ඉවත් කරන්නේ කවදාද යන්න පිළිබඳ දිනයක් ප්‍රකාශ කිරීමද සිදු කළ නොහැකි බවයි බලධාරීන්  පැවසුවේ.