Wednesday, April 24, 2024

General line - 0115112241

පකිස්තානයේ ගර්භණී මව්වරුන් ජීවිත අවදානමක




හදිසි ප්‍රතිකාර නොමැතිවීමෙන්  ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වූ පකිස්තානයේ ප්‍රදේශ රැසක සිටින ගර්භණී මව්වරුන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, හදිසි ප්‍රතිකාර සේවා හා අනෙකුත් පහසුකම් නොමැතිවීම හේතුවෙන්. 

ගංවතුර හමුවේ දැඩි බලපෑමට ලක්වූ Khair  දිස්ත්‍රික්කයේ දී ඉකුත් දා ගර්භණී මවක් මියගොස් ඇති අතර ඇයගේ දරුවාගේ දිවි බේරාගැනීමට ද  වෛද්‍යවරුන්ට හැකිවී නැහැ. 

මාර්ගවල ජලය පිරී පැවතීම හේතුවෙන් අදාළ කාන්තාව සිය දරු ප්‍රසූතිය සඳහා ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට නොහැකිවීම නිසා එම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්තානයේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිටින ගර්භණී මව්වරුන් 650,000 ක පමණ පිරිසකට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ දැඩි අවධානය යොමුව තිබෙනවා. 

ආරක්ෂිත දරු ප්‍රසූතියක් සඳහා එම මව්වරුන් මාතෘ සෞඛ්‍ය සේවා අපේක්ෂාවෙන් සිටින බවයි එම අරමුදල සඳහන් කළේ. 

පකිස්තානයේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිටින ගර්භණී මව්වරුන් 73,000 ක් පමණ ලබන මාසයේදී සිය දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල පෙන්වා දෙයි.

එම මව්වරුන්ට සහය වීම සඳහා පුහුණු සෞඛ්‍ය නිලධාරිනියන් හා අළුත උපන් බිළිඳුන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ.