Wednesday, April 24, 2024

General line - 0115112241

කොවිඩ් ප්‍රතිපත්ති හමුවේ චීන වැසියන් දැඩි පීඩනයක




ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය මත එල්බ සිටින චීන බලධාරීන්ගේ දැඩි ප්‍රතිපත්ති හමුවේ එරට ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ ෂින්ජීයැන් ප්‍රාන්තයේ පිහිටි යින්නි දිස්ත්‍රික්කය ඉකුත් අගෝස්තු මාසයේ සිට කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අගුලු දමා ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 6 කට අධික ජනතාවකට සිය නිවෙස් තුලටම වී සිටීමට සිදුව ඇත.

අගුලු දමා ඇති ප්‍රදේශවල ජනතාවට සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් ආහාර සහ ඖෂධ සැපයීම චීන බලධාරීන් විසින් සිදුකරනු ලැබුවද, ජනතාව ප්‍රකාශ කරන්නේ තමන්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර නොලැබෙන බවයි.

විශේෂයෙන්ම එළවලු, මස්, පලතුරු ආදිය තමන්ට නොලැබෙන බවයි යින්නි දිස්ත්‍රික්කයේ අගුලු දමා සිටින ජනතාව විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.

ඇතැම් පුද්ගලයින්ට ඉකුත් සති දෙකක කාලය පුරා ආහාර සඳහා ලැබී ඇත්තේ නුඩ්ල්ස්, නාන් වැනි ආහාර ද්‍රව්‍ය පමණක් බවයි සඳහන් වන්නේ.

මේ අතර ආහාර පානවලට අමතරව කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවයන් උදෙසා භාවිත කරනු ලබන භාණ්ඩ පවා මිලදී ගැනීමට නොහැකි මට්ටමක් මතුවී ඇති බව සඳහන් .

මේ අතර මීට පෙර චීනයේ, ෂැංහයි හී කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අගුලු දමා තිබියදී ජනතාව විසින් තමන්ට ලබාදෙන ආහාර සහ ඖෂධ වල අඩුපාඩු සම්බන්ධයෙන් හඬ නගනු ලැබුවා.

ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හමුවේ දිගින් දිගටම චීනය ගෙනයන මර්ධනකාරී වැඩපිළිවෙල හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුයේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ඇතිවූ කතිකාවත හේතුවෙන්.

චීනයේ ෂින්ජීයැන් ප්‍රාන්තයේ පිහිටි යින්නි දිස්ත්‍රික්කයට මායිම්ව ජිවත්වන සුළුතර උයිගර් වැසියන්ට ද කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ක්‍රියාවලියන් සඳහා යොමු කිරීමේදී ලැබෙන අඩු පහසුකම් සම්බන්ධයෙන් ද බලධාරීන්ට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවින් සමස්ත චීනයේ බොහෝ නගර කොවිඩ් ව්‍යාප්තිය ඉලක්ක කර ගනිමින් අගුලු දැමීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

මේ අතර චීනයේ ෂින්ජීයැන් ප්‍රාන්තයේ පිහිටි යින්නි දිස්ත්‍රික්කයෙන් ඉකුත් ඉරිදා තවත් කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා.