Thursday, April 25, 2024

General line - 0115112241

ලෝකයෙන් හුදෙකලා කළ තලේබාන් සංවිධානයට සහය දෙන බවට චීනයට චෝදනා




මානව හිමිකම් කඩකිරීම් හමුවේ ලෝකයෙන් හුදෙකලා කළ තලේබාන් සංවිධානය වෙනුවෙන් චීනය ඉදිරිපත්ව සිටින බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තානය වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා චීනය කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්තානයේ දුම්රිය අධිකාරිය පවසන්නේ චීනයේ සිට ඇෆ්ගනිස්තානය වෙත දුම්රිය මගින් වාණිජ භාණ්ඩ ප්‍රවාහනය මේ මස සිට ආරම්භ කරන බවයි.

 කිරිගිස්තානය සහ උස්බෙකිස්තානය හරහා චීනයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇෆ්ගන් දුම්රිය අධිකාරිය සහ චීන සමාගමක් එකග වී ඇතැයි ඇෆ්ගනිස්තානය පවසනවා.

ඒ අනුව චීනයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා බහාලුම් 5000 ක් පමණ ප්‍රවාහනය කිරීමට අදාළ චීන සමාගම අපේක්ෂා කරන බව ද සදහන්.

ඇතැම් ඇෆ්ගන් වෙළෙදුන් පකිස්ථානයේ කරච්චි වරාය වෙනුවට මේම දුම්රිය ප්‍රවාහන සේවය තෝරා ගනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

අමුද්‍රව්‍ය චීනයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා දුම්රිය මගින් රැගෙන ඒමෙන් පිරිවැය අඩු කෙරෙනවා සේම කරච්චි වරායේ භාණ්ඩ එක් රැස් වී තිබීම වැලැක්වීමට ද ඉන් හැකියාව ලැබෙන බව ඇෆ්ගනිස්තානය පවසනවා.

මේවනවිට කරච්චි හරහා චීනයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන අතර එය අධික ලෙස මුදල් වැයවීමක් බවයි  ඇෆ්ගනිස්තානය පෙන්වා දෙන්නේ.

චීනය මෙලෙස ඇෆ්ගනිස්තානයට භාණ්ඩ ප්‍රවාහනය  කිරීමට සූදානම් වන්නේ එරට පතල් කැනීම් කටයුතු සදහා ද ඔවුන්ගේ දැඩි අවධානයක් යොමු කරමින් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ඇෆ්ගනිස්තානයේ තඹ සහ ලිතියම් කැනීම සදහා චීනය උනන්දුවක් දක්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.