Wednesday, April 24, 2024

General line - 0115112241

රැජිණට අවසන් ගෞරව දක්වන්න කිලෝමීටර් 16 ක පෝලිමක්




එළිසෙබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල පිරිසක් මේ වන විටත් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස පැමිණි ජනතාවගේ පෝලිමේ දිග කිලෝමීටර් 16 ක්.

විදෙස් රටවල සිට පැමිණි බොහෝ පිරිසක් මෙන්ම කුඩා දරුවන් සහ විවිධ ආබාධවලට ලක්වූවන් ද ඒ අතරට අයත්. ඔවුන් දිවා, රාත්‍රී නොබලා රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පෙළගැසී සිටීම කැපී පෙනෙන තත්ත්වයක්. 

රැජිණගේ දේහය ලන්ඩන්හි වෙස්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන ඒමෙන් අනතුරුව රජ පවුලේ සියලුදෙනා දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. බොහෝ දෙනෙකු අවසන් ගෞරව දැක්වූයේ හැඬූ කඳුලින් යුක්තවයි. ඒ අතරට රජ පවුල හැරගිය හැරී සහ මේගන් යුවල ද අයත්.

මේගන්, කේට් කුමරිය හා සමීපව පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හැරී ද ඔටුන්න හිමි කුමරා වන විලියම් කුමරු හා සමීපව පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වුවා. එහිදී සංවේදීවූ හැරී හැඬූ කඳුලින් යුක්තව දේහයට අවසන් ගෞරව දක්වන අයුරු විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.