Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට සිය අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති. ආසියානු කුසලානයේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙටි විවේක කාලයකින් පසු ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතයි. ඒ, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවට, සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්තය සමඟ පුහුණු තරඟ දෙකක් ලබාදී තිබෙනවා. එම තරඟ ඔක්තොම්බර් 10 වනදා සහ 13 වනදා පැවැත්වෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන තරඟාවලියට පෙර ශ්‍රී ලංකා පිළ සුදුසුකම් ලැබීමේ වටයකට ද තරඟ කළ යුතුයි.

එම තරඟ වටය ඔක්තොම්බර් 16 වනදා ආරම්භ වනවා. එහිදී ශ්‍රී ලංකාව, නැමීබියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය සමඟ තරඟ වැදීමට නියමිතයි. මේ වන විටත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායම් 07 ක් සිය සංචිත ප්‍රකාශයට පත්කර අවසන්.