Friday, March 29, 2024

General line - 0115112241

මහරැජිණගේ අවමගුල නිසා රුසියාවේ හිත රිදෙයි




යුක්රේන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර හටගත් මතභේදාත්මක තත්ත්වය තවදුරටත් තීව්‍ර වී තිබෙනවා. ඒ, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය පදනම් කර ගනිමින්. 

ලබන 19 වනදා පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා බ්‍රිතාන්‍යය රජය මේවනවිටත් විදෙස් රාජ්‍ය නායකයින්ට ආරාධනා කර අවසන්. එහෙත් අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වන ලෙස ඔවුන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හෝ එරට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට ආරාධනා කර නැහැ. 

බ්‍රිතාන්‍යයේ මෙම ක්‍රියාකලාපය රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ හෙළා දැක තිබෙනවා. එහි ප්‍රකාශිකාවක සදහන් කළේ ජාතික ඛේදවාචකයකින් වාසි ලබා ගැනීමට බ්‍රිතාන්‍යය උත්සහ දරණ බවයි. 

රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කර නැති නමුත් බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපතිවරයා රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වනු ඇතැයි මීට පෙර වාර්තා පළ වුණා. එහෙත් ලන්ඩන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්‍යාලයේ ඉහළ නිලධාරියෙකුට හෝ රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වන ලෙසට බ්‍රිතාන්‍යය ආරාධනා කර නොමැති බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ. 

මේ හේතුවෙන් රුසියාව දැඩිව කෝපයට පත්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. දෙවන ලෝක යුද්ධයේදී දෙවන එලිසබෙත් රැජින කටයුතු කළ ආකාරය සලකා බලන විට බ්‍රිතාන්‍යය රජයේ මෙම ක්‍රියාකලාපය ඔවුන්ට නුසුදුසු බවයි රුසියාව පෙන්වා දෙන්නේ.

රුසියාවට ආරාධනා නොකළද, බ්‍රිතාන්‍යය රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා යුක්රේනයට ආරාධනා කර තිබෙනවා. රට තුළ පවතින යුධමය තත්ත්වය හමුවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි රටින් පිටව නොයනු ඇති බවත් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඔහුගේ භාර්යාව රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර බ්‍රිතාන්‍යයේ ඉහල නිලධාරීන් 7 දෙනෙකුට සම්බාධක පැනවීම හමුවේ චීනය හා බ්‍රිතාන්‍යය අතර ද ඉකුත් සමයේ යම් මතභේදාත්මක තත්ත්වයක් දක්නට ලැබුණා. කෙසේවෙතත් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා බි්‍රතාන්‍ය, චීනයට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් ඒ සදහා චීන ජනාධිපති සී ජින්පින්ගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා. චීන ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ජනාධිපතිවරයා ද මේ දිනවල සිටින්නේ උස්බෙකිස්තානයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වෙමින්.