Saturday, April 20, 2024

General line - 0115112241

රාජකීය දේහය අසල කලහකාරී ලෙස හැසිරුණු අයෙකු අත්අඩංගුවට




අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ දේහය මහජන ගෞරවය සඳහා තවදුරටත් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් පැමිණෙමින් සිටින බවයි. 

ඒ අනුව ලන්ඩන් නුවර සැතපුම් 05 ක පමණ දුරට විහිදෙන පරිදි දිගු පෝළිම් දක්නට ලැබෙන බවත් ඇතැම් පුද්ගලයින් පැය 10 කට අධික කාලයක් පුරා පෝළිම්වල රැඳී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අධික පිරිසකගේ පැමිණීම හේතුවෙන් ඊයේ දිනයේදී අවස්ථා 02 කදී පැය කිහිපයක් ගත වන තුරු රාජකීය දේහය මහජන ගෞරවය සඳහා විවෘත නොකිරීමට බලධාරීන්ට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර රැජිනගේ දේහය අසල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙස්ට්මිනිස්ටර් ශාලව තුළට ඇතුළු වූ අදාළ පුද්ගලයා පෝළිමෙන් ඉවත්ව රාජකීය දේහය තැන්පත් කර ඇති වේදිකාව මතට නැග දේහය තැන්පත් කර ඇති දෙණ මත තබා ඇති රාජකීය ධජ ඉවත් කිරීමට උත්සහ දරා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී අසල සිටි ආරක්ෂක නිලාධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියෙන් කුඩා දරුවෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.