Saturday, April 20, 2024

General line - 0115112241

එංගලන්තයේ රාජකීය සොහොන් ගැබ වසර විස්සකට පසු හෙට විවෘත වෙයි




අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එංගලන්තය වැසියන් දහස් ගණනක් මේවනවිටත් දිගු පෝළිම්වල රැදී සිටිනවා. හෙට පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද මේවනවිටත් ලන්ඩනයට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවන එලිසබෙත් රැජිනගේ මුණුපුරන් සිය මිත්තනියට අවසන් ගෞරව දැක්වීම ඊයේ සිදු කෙරුනු අතර විලියම් හා හැරී කුමරුවන් ද එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී හැරී කුමරුට හමුදා නිල ඇදුමින් සැරසී සිටීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

මේ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසුව හෙට විවෘත කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය තැන්පත් කිරීම සදහායි. ඇයගේ පියා වන හය වන ජෝර්ජ් රජුගේ මෙන්ම මව් රැජිණියගේ දේහයන් ද මිහිදන් කර ඇත්තේ එම රාජකීය සොහොන් ගැබ තුළ බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අසලින් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මිහිදන් කිරීමට නියමිතයි. රැජින අභාවප්‍රාප්ත වන තුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට සහභාගී වීම සදහා අවසර හිමිවන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.