Saturday, April 20, 2024

General line - 0115112241

වී අලෙවි මණ්ඩලයේ ගබඩා සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් 




වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 24ක් පමණක් වන බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කර තිබෙනවා. එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉකුත් මාර්තු 31වනදා වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාව ද ගබඩා කර තිබුණේ වී  ටොන් මෙට්ට්‍රික් ටොන් 75,237ක් පමණක් බවයි. 

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංඛ්‍යාව 315ක් වන අතර ඒවායේ මුළු ධාරිතාවය මෙට්ට්‍රික් ටොන් තුන්ලක්ෂ දස දහස් හත්සිය විස්සක් වනවා. ඒ අනුව පසුගිය මාර්තු 31 වනදා වන විට පැවති වී තොග සමස්ථ ගබඩා ධාරිතාවේ සියයට 24ක් වන බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. 

2021/2022 මහ කන්නයේදී වී තොග නොලැබීම හේතුවෙන් ගබඩා 87ක් හා අබලන් තත්ත්වයේ පැවති ගබඩා 23ක් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ද එම වාර්තාවේ සදහන්. 

2018/2019 මහ කන්නයේදී මුලු වී අස්වැන්නෙන් සියයට 10ක වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා ධාරිතාවක් පැවතුණා. එහෙත් එම කන්නයේදී ගොවීන්ගේ මුළු වී අස්වැන්නෙන් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇත්තේ සියයට 1ක් පමණයි.  ඒ අනුව සමස්ථ ගබඩා ධාරිතාවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 15ක් පමණක් බව ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. 

වී අලෙවි මණ්ඩලය සතු ගබඩා දීර්ඝ කාලයක සිට ඌණ උපයෝජිතව පවතින බව ද අදාල විගණනය මගින් අනාවරණ කර තිබෙනවා.