Wednesday, September 28, 2022

General line - 0115112241

ආහාර දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස්වලට රජයෙන් සහනයක්

262Views



 

 

 

සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද පාසැලට රැගෙන ඒමේ පුවත අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. දිවා ආහාරය සඳහා අදාළ සිසුවිය පාසැලට පොල් මද රැගෙන ආ බවට සමාජ මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් දිවුලපිටිය එම පාසැලේ විදුහල්පතිණියගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළා.

කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් දරුවෙකු, පුද්ගලයෙකු හෝ පවුලක් එවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් මේ වන විටත් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මකයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. 011 43 54 647 හෝ 011 43 54 354 අංක අමතා එම ඒකකය හා සම්බන්ධවී තොරතුරු ලබාදිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සාමාජිකයින් පස් දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන අය සිටින පවුල්, අවුරුදු 5 ට අඩු ළමයි සිටින දුගී පවුල් ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්නායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනය නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණපා සිටින පවුල් ද ඊට අයත්.

එවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව හිමිවන මුදල රුපියල් 15,000 ක්. එම පවුල් සඳහා අදාළ මුදල ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.