Saturday, April 20, 2024

General line - 0115112241

ලබන මාසයේ පැය 10 ක් විදුලිය කැපෙයිද ? - තීරණයක් ගත යුතු අවසන් දිනය අද




කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ වනු ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනතුරු අගවනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම තත්ත්වය මගහරවා ගැනීමට අදාළ බලධාරීන් කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවයි.

ඒ අනුව ගල් අඟුරු තොගයක් ආනයනය කිරීමට ඇණවුම් කිරීම සඳහා කටයුතු කළ යුතු අවසන් දිනය අද දිනය බවයි ඔහු පැවසුවේ. එසේ නොවුණහොත් ඔක්තොම්බර් මස 28 වනදා සිට යළි දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවීමේ අවධානම පවතින බව සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර රට තුළ ඇති ගල් අඟුරු සංචිතය සහ මතුව ඇති අර්බුදය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ පළ කළේ මෙවන් අදහසක්.

දෛනික විදුලි කප්පාදුව අද සිට ලබන 25 වනදා දක්වා පැය දෙකයි විනාඩි විස්සක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසූවේ. ඒ, මෙතෙක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදු කාලය තවත් පැයකින් දීර්ඝ කරමින්.

ලබන 25 වනදා තෙක්  A සිට L සහ P සිට W දක්වා වන කලාප සදහා දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. රාත්‍රී කාලයේ එම කලාප සදහා පැයයි මිනිත්තු විස්සක කාලයක් ද විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ. 

පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා ඉන්ධන නොමැති වීම සහ විදුලි ඉල්ලුමේ හදිසි ඉහළ යාම මෙලෙස විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝ කිරීමට හේතු වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.    

විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහක් මතුව ඇත්තේ විදුලි බිල වැඩිවීමට එරෙහිව ආගමික නායකයින් ඇතුළු විවිධ පාර්ශව දැඩි විරෝධයක් පළ කරමින් ඇති පසුබිමකයි. ඒ අතරින් ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ ප්‍රධානයි.