Tuesday, April 16, 2024

General line - 0115112241

රන් භාණ්ඩ තොගයක් කටුනායකින් පිට කිරීමට රැගෙන යමින් සිටි හිමිනමක් රේගු භාරයට

ටී කේ ජී කපිල




රුපියල් දෙකෝටි හතලිස් නව ලක්ෂ පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි භික්ෂූන්වහන්සේ නමක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේ නමක්. එම භික්ෂූන් වහන්සේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. 

ගුවන් ගමන් අතරතුර හදුනා ගත් පුද්ගලයෙකු මෙම ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ගොස් දෙන ලෙස තමන් වෙත භාර දුන් බවයි අදාළ ස්වාමීන් වහනසේ රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව රේගු නිලධාරීන් අදාළ ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 44 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී මෙම සිදුවීමට සම්බන්ධ භික්ෂූන්වහන්සේ නිදහස් කර තිබෙනවා. නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 05 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.