Thursday, April 25, 2024

General line - 0115112241

රුපියල කඩාවැටීම ලෝකයේ 03 වන තැනට




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයකින් දේශීය මුදල් ඒකකයක් අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව 03 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව ඉකුත් ජනවාරි මස 01 වනදා සිට පසුගිය 16 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 47.79 කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වී ඇත්තේ අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්වීව් හැන්ක් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි. 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ මුදල් ඒකකයයි. එය අව ප්‍රමාණය වී ඇත්තේ සියයට 73.33 කින්. සියයට 57.65 කින් අව ප්‍රමාණය වූ කියුබාවේ මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. 

මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර ණය හිමියන් සමඟ අද සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එහිදී ණය හිමියන්ට ඉදිරිපත් කෙරෙන සැලසුම් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා අවසාන අනුමැතිය ලබා ගැනීමට සහ අනෙකුත් ගෝලීය නියෝජිතායතනවලින් සහය ලබා ගැනීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනවා.

ආහාර සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිගයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට එම තත්ත්වයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා.