Thursday, April 25, 2024

General line - 0115112241

රුසියානු හමුදාවට එක්වන විදේශිකයින්ට පුටින්ගෙන් පුරවැසිභාවය




රුසියානු හමුදාවට නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගත් තීරණයට එරෙහිව රට පුරා තවදුරටත් ප්‍රබල මහජන විරෝධතා ක්‍රියාත්මකයි. මොස්කව් අගනුවර සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර එම විරෝධතා උත්සන්න වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ජනාධිපතිවරයාගේ තිරණයට එරෙහිව එම නගරවල විරෝධතා පැවැත්වූ පුද්ගලයින් 734 දෙනෙකු රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවන් ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉකුත් සතියේ ද ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව විරෝධතා පැවැත්වූ 1300 ක පමණ පිරිසක් රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

මේ අතර ප්‍රතිවිරුද්ධ හමුදාවන්ට යටත්වන, හමුදාවෙන් පළා යන හෝ යුධ වැදීම ප්‍රතික්ෂේප කරන හමුදා සෙබළුන්ට එරෙහිව වසර 10 ක සිරදඬුවමක් නියම කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආඥාවක් පනවා තිබෙනවා. එමෙන්ම රුසියානු හමුදාවට එක්ව වසරක කාලයක් සේවය කරන විදේශිකයින්ට රුසියාවේ පුරවැසිභාවය ලබාදීමේ නියෝගයකට ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

යුක්රේන යුද්ධය හමුවේ රුසියාව මුහුණ පා ඇති හමුදා සෙබළුන්ගේ හිගය ඒ හමුවේ පිළිඹිබු වන බව ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කළා. 

මේ අතර ඇතැම් විදෙස් වාර්තා පවසන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේවනවිට ක්‍රෙම්ලිනයෙන් පළාගොස් ඔහුට අයත් සුපිරි මන්දිරයක සිටින බවයි. එම මන්දිරය මොස්කව් සහ සාන්ත පීටර්ස්බර්ග් අතර පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමුදාවට නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිකුත් කළ නියෝගයට එරෙහිව රට පුරා මහජන විරෝධතා උත්සන්න වීම හමුවේ ජනාධිපතිවරයා එලෙස සැගව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.