Thursday, April 25, 2024

General line - 0115112241

දේශපාලන පලිගැනීම් සොයා බැලූ කොමිසම නිකුත් කළ නිර්දේශ අභියාචනාධිකරණය බල රහිත කරයි




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරට එරෙහිව සිදුකර තිබෙන සියලුම නිර්දේශ බල රහිත කරමින්  අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කළා.

ඒ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් ගොනුකළ රිට් පෙත්සමක තීන්දුව ලබා දෙමින්. නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී එම් සමරකෝන් සහ ලෆාර් තාහීර්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් වූ එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉකුත් වසරේ ජනවාරි මස 18 වනදා ගනු ලැබූ තීරණය මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කියාසිටියේ රජයේ නිලධාරියෙකු වන පෙත්සම්කරුට එරෙහිව මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට අදාළ කොමිෂන් සභාවට බලයක් නොමැති බවයි. පෙත්සම්කරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අදාළ කොමිෂන් සභාව සිය බලය සීමාව ඉක්මවා ගොස් කටයුතු කර ඇති බවද නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කාර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට එරෙහිව අදාළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමසාරිස්වරු තිදෙනා විසින් සිදුකර තිබෙන සියලුම නිර්දේශ, හඳුනා ගැනීම් හා තීරණ බල ශුන්‍ය බවට ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව අදාල කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ,  තීරණ හා සොයාගැනීම් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවද අදාළ නියෝගයේ සඳහන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරට එරෙහිව  සිය වාර්තාව මගින් නිර්දේශ නිකුත් කර තිබුණා.