Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්ධනවල ප්‍රමිතිය ගැන රටපුරා පරීක්ෂණ




දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සදහන් කළේ ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි. ඉකුත් සමයේ  ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ බවද ඔහු පැවසුවා.

අද සිදුකළ පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පාරිභෝගික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනූජ් විජේසූරිය මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප දෙකක් ඊයේ මුද්‍රා තැබුණා. ඒ, එම පොම්ප දෙකෙන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට 1යි දශම 2ක් අඩුවෙන් නිකුත්කළ බවට තහවුරු වීම හේතුවෙන්. එහිදී සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 5යි ශත 40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ. 

මේ අතර ඉන්ධන මිල ඉදිරියේදී අඩුකිරීමට රජය සැලසුම් කර ඇති බව නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයෙන් අද උදෑසන අනාවරණය කළා. කෙසේවෙතත් තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ ඉන්ධන මිල රුපියල් 125කින් අඩුකළ හැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවයි. 

මේ අතර තවත් පෙට්‍රල් නෞකාවකට ඊයේ දිනයේ ශ්‍රී ලංකා රජය මුදල් ගෙවා තිබෙනවා. එහි ඉන්ධන ගොඩබෑම අද සිදුකිරීමට නියමිතයි. 

එමෙන්ම රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වා ගැනීම සඳහා පළමු ඇණවුමට ගෙවීම සිදුකර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ අද දිනයේද ගල් අඟුරු තොග සඳහා ගෙවීමට අමෙරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ලැබෙණු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි.