Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ බන්ධනාගාරවල සිට මෙහෙයවනු ලබන ජාවාරම් සහ අපරාධ ගැන නෙත් FM බැලුම්ගල අනාවරණයෙන් පසු විමර්ශන ඇරඹේ




නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේ දී අනාවරණය කෙරුණු ඉන්දියාවේ බන්ධනාගාරවල සිට මෙහෙයවනු ලබන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ තවත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා. මෙම විමර්ශනවලදී සැකකරුවෙකු සහ සැකකාරියකද දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි වාර්තා වන්නේ. 

කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලාඇලේ ගුණා සහ කුප්‍රකට තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පූකුඩුකන්නා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බවයි නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණ කළේ.

ඔවුන් දෙදෙනාම දැනට සිටින්නේ ඉන්දියාවේ බන්ධනාගාර ගතවයි. එලෙස බන්ධනාගාරගතව සිටියදී ම කිඹුලාඇලේ ගුණා නමැත්තා පාකිස්ථානයේ නමගිය ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බව ද බැලුම්ගල වැඩසටහන දී වැඩිදුරටත් අනාවරණ කෙරුණා. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ආයුධ ජාවාරම ද සිදු කෙරෙන බවයි සාක්ෂි සහිතව එහිදී පෙන්වා දුන්නේ. 

ඉකුත් සමයේ මෙරට සිදුවූ කුප්‍රකට මනුෂ්‍ය ඝාතන ගණනාවක් ද කිඹුලාඇලේ ගුණා නමැත්තා සහ පූකුඩූකන්නාගේ මෙහෙයවීම යටතේ සිදුව ඇතැයි ද මෙහිදී සාක්ෂි ඉදිරිපත් කෙරුණා. මෙම සාක්ෂි සහ තොරතුරු නෙත් එෆ් එම් බැලුම්ගල විසින් ආරක්ෂක අංශ වෙත ද ලබාදුන් අතර විමර්ශන සිදු කෙරෙන්නේ ඒ අනුවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය කිඹුලාඇලේ ගුණාගේ ප්‍රධානම ගෝලයකු වන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රත්නම් රංජිත් කුමාර නොහොත් ගෝරිල්ලා රංජිගේ මව වනවා. වයස අවුරුදු 63ක් වන ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ දෙවන කණ්ඩායමේ නිලධාරීන් විසින්. බ්ලූමැන්ඩල් පොලිස් වසමේ දී සිදු කෙරුණු වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු 33 වන වියේ පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කිඹුලාඇලේ ගුණා සහ පූකුඩුකන්නා යන දෙදෙනා සමඟම සම්බන්ධතා පවත්වන්නෙකු බව හෙලි කර ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 6ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

විමර්ශන පිළිබඳ සහ කිඹුලාඇලේ ගුණා සහ පූකුඩුකන්නා විසින් සිදුකෙරෙන ජාවාරම් පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල ද තවදුරටත් විමසිල්ලෙන්.