Friday, April 19, 2024

General line - 0115112241

දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බව ජනපති කියයි




තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදුකරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව පාසල් දරුවන් වෙනුවෙන් රජයේ වියදමෙන් සමබල ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එහි ආරම්භයක් ලෙස පාසල් දරු දැරියන් දස ලක්ෂ 80,000 කට උදෑසන පාසල් ආරම්භවීමට පෙර සමබල පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම මේවනවිටත් සිදු කෙරෙනවා. ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා මාසික දීමනාවක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

අදට යෙදී තිබෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළා. 

සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයින් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ලෝක ළමා හා වැඩිහිටි දින පණිවිඩයේ දැක්වෙනවා.

දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැක බලා ගැනීමට සියලුදෙනා එක්විය  යුතු බව ද  ජනාධිපතිවරයා නිකුත් කළ ලෝක ළමා හා වැඩිහිටි දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.