Friday, March 29, 2024

General line - 0115112241

චීන කාබනික පොහොර ගනුදෙනුවෙන් රජයට මිලියන 1382 ක පාඩුවක් - විගණකාධිපති කියයි




චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. එම වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.

2021 වසරේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් අනතුරුව එවක රජය සියයට 100 ක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන්, සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙත කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී එම පොහොර ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා අඩංගු බවත් ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්. 

එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කාර්යය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති බව ද එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. 

ටොන් 20, 550 කින් යුත් චීන කාබනික පොහොර තොගය කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එහිදී මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තා. 

ඒ, එය ශාක නිරෝධායන නීතියට පටහැනි බවට එල්ල වූ චෝදනා හමුවේයි. අදාළ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ පවත්වාගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත චීන නෞකාවේ පිරිවැයෙන් සියයට 75 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දශම 9 ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙන්. 

ඒ අනුව, චීන පොහොර ගනුදෙනුව හරහා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙනවා. එහිදී අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ ද සුරක්ෂිතයකින් තොරව බවත් එහි සඳහන්.  

ඒ අනුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා එම සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙයසි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් යෝජනා කර ඇත්තේ.