Saturday, April 20, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් පිලිබඳ නියෝගය නොවැම්බර් 24 වෙනිදා




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ  නියෝගය නොවැම්බර් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට අදාළව විරෝධතා ගොනු කරන බවයි. ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය නොවැම්බර් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අධිකරණය නියෝග කළා. වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ද එදිනට කල් දැමුණා. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.