Saturday, May 31, 2025

General line - 0115112241

සබරගමුව සරසවි සිසුවාගේ මරණය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්



සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතල නවකවධ සිද්ධියකට මුහුණ පා සිය දියවී නසාගැනීමේ  සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වග උත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඊට අමතරව විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටු දැකීමේ  වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චරිත් ගල්හේන  යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කෙරුනා 

එහි වග උත්තරකරුවන් ලෙස සරගමුව විශ්ව විද්‍යාලය, එහි උප උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශය් ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩ බලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර සිටිනවා. 

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත්දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවකු වන චරිත් දිල්ෂාන් දයානන්ද නමැති  තරුණයකු  බරපතල නවක වදයකට මුහුණ දී මරණයට පත්වීමේ සිද්ධිය  පිළිබඳව සලකා බලා මෙම මහජන සුභසාධන නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.

රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවක වදය පිටුදැකීමට සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වූ බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් විශ්වවද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට දැඩි අගතියක් සිදුවන බවත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නවක වදය හේතුවෙන් මරණයට පත් වූ අදාළ සිසුවාගේ මරණය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකන් නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම විශ්ව විද්‍යාල තුළ නවක වදය පිටුදැකීම සඳහා පවතින නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස ඒවායේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එවැනි වැරදි ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව 1998 අංක 20 දරණ නවක වදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් අයැද සිටිනවා 

ඊට අමතරව නවක වදයෙන්  සිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් ඊට අමතරව එවැනි සිද්ධීන් වලින් පීඩාවට පත්වන  සිසු සිසුවියන්ට වින්ඳිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.