Sunday, June 1, 2025

General line - 0115112241

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සම්බන්ධ පත්වීමකට එරෙහිව ගොනු කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි



2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් ඉකුත් දා  අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා  ගොනු කෙරුණු විශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළා. 

ඒ දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුවයි 

ඒ. එච්. ඒම්.ඩී නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සඳහා එස්.එම්.පී.  සූරිය බණ්ඩාර මහතා පත් කිරීමට 2024 වසරේ මාර්තු මස 5 වනදා ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් එම අධිකාරියේ සේවය කළ  පළ පුරුදු ඉංජිනේරුවරයෙක් වන කේ ඩබ්ලිව් කණ්ඩම්බි මහතා  අභියාචනාධිකකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. 

දීර්ඝ විභාගයකින් අනතුරුව ඉකුත් 08 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාදීකරණය අදාල තනතුර සඳහා 2024 වසරේ මාර්තු මස 5 වන දා සිට බලපැවැත්වෙන පරිදි කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා පත් කරන ලෙස ආඥාවක් නිකුත් කර තිබුණා.

එම තීරණය අභියෝගයට ලක් කරමින් වග උත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සඳහන් කළේ අභියාචනාදිකරණයේ මෙම නියෝගය නීතිමය වශයෙන් දෝෂ සහගත බවයි. 

එබැවින් එය බල රහිත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් කේ. ඩබ්ලිව්. කන්ඩම්බි මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගය නීත්‍යානුකූල බවත් එය තහවුරු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  අදාල අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.


උදය කුමාර